Search This Blog

About Me

My photo
I'm Arosha samarasekara.Im student.

Monday, April 11, 2016

__විවාහ ජීවිතය පිළිබද බෞද්ධ ඉගැන්වීම___ 01

විවාහ ජීවිතය යනු සමාජගත පුද්ගලයා හා බැදි අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස මානව වර්ගයාගේ ආරම්භක යුගයෙහි සිටම කතා කළ තේමාවකි. විවාහය ලිංගික අවශ්‍යතා මුල්කර ගනිමින් සමාජයක් තුළ ඇතිවන ආකාරයත් පවුල් සංස්ථාවේ මූලාරම්භය විවාහ ජීවිතය පදනම් කරගනිමින් ප්‍රභවය වන ආකාරයත් දික් සගියෙහි අග්ගඤ්ඤ සූත්‍රයට අනුව පැහැදිලි වෙයි. තවද පශ්චාත් කාලීනව ඇතිවන සංකීර්ණ සමාජ සබදතා වටා පදනම් වන සමාජීය ගැටලු සහ සිවිල් සමාජය රාජ්‍යයේ මැදිහත්වීම කෙරෙහි පොදු සම්මතයකට එළඹීමත් සමාජය තුළ නිර්මාණය වූ විවිධ ආයතනයන්, සම්මතයන් සහ සම්ප්‍රදායන් යන සමස්ථයෙහි ප්‍රාරම්භක අවස්ථාව විවාහ ජීවිතය මුල්කර ගනිමින් ඇතිවූ බවට අග්ගඤ්ඤ සූත්‍රගත අතීත ප්‍රවාදය සාක්ෂි දරයි.

ලොවැ පවත්නා සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යය. එබැවින්ම දුක්ඛ ය. කය වූ කලී දෙතිස් කුණූපයන්ගේ ඓක්‍යයයි. නව දොරින් අසූචි වැගිරෙයි. සකල කාමාශ්වාදයන්ගේ ආවසානික ප්‍රතිඵලය සාංසාරික පැවැත්ම තුළ තෙරක් නොපෙනෙන භයංකාර දුක්ඛයන් ජනිත කිරීමය. එහෙයින් කවර සොම්නසක්ද? කවර සිනාවක්ද? යනුවෙන් සියලු සංඛත ධර්මයන්ගේ අනිත්‍ය බව අවධාරණය කරනා ස්ථවිරවාදී බුදු සමය තුළ කයෙහි යථාතත්වාවබෝධය සහ පංචකාමයෙහි නිරර්ථක අරුත්සුන් බවම නිර්වාණාභිසමය පිණිස නිර්දේශ කරයි. මෙසේ පංචකාමයන්ගේ ආදීනවය මෙනෙහි කිරීමම උගන්වන බුදු සමය විරාගී චරණයත් අනගාරික වූ නෛෂ්ක්‍රම්‍ය ජීවිතයත් වර්ණනා කරන අතර ලෞකිකවූ පංචකාම වින්දන සහිත සාංසාරික පැවැත්මට අනුබල දෙන පුහුදුන් වූ කාමපරිදාහයන්ගෙන් බැදුණු බ්‍රහ්මචර්යාවාසයට ඉදුරාම ප්‍රතිවිරුද්ධ වූ සරාගී කල්පනාවන්ගෙන් පිරුණු විවාහ ජීවිතය මුලිනුපුටා බැහැර කළ යුත්තක් ලෙස නොසලකා ඒ තුළ සදාචාර පිළිවෙත් දේශනා කිරීම මූලික දාර්ශනික පදනමත් සමග විසංවාදී නොවන්නේදැයි යමෙකුට විමතිය පිණිස හේතුවන්නට ඉඩ තිබේ. නමුත් අප තේරුම්ගතයුතු කාරණය වන්නේ සමාජ සංස්කෘතික යථාර්ථයන් නොඉක්මවමින් සාධු සම්මත යම් සදූපදේශ පද්ධතියක් ඇත්නම් ඒවා කෙරෙහි උපේක්ෂා සහගතව බලා පරම නිෂ්ටාව වෙත පුද්ගල ජීවිත හැසිරවීමක් බුදු සමයෙහි විද්‍යමාන වන බවයි. අන්තවාදීව ආගමික සම්ප්‍රදායන්හි පුද්ගල ජීවිතය බැද තැබීමක් හෝ එවන් නෛතික පැනවීම් කිසිවකින් දෘෂ්ටිවාදයක් වෙත පුද්ගලයාට බලකිරීමක් බුදු සමයෙහි නොමැති බවයි. අනෙක් අතින් සමාජගත දුක් සංසිදවනු වස් පරම නිෂ්ටාව සාක්ෂාත් කළ සබ්‍රහ්මචාරීන් ධර්ම චාරිකාවෙහි යෙදුන බවක් පෙනෙයි. ඒ අනුව නෛක්‍රම්‍ය ජීවිතය හිමි පැවිද්දාට මිස ගිහි ජනයාට නොවේ. බුදුරදුන් ශාසනික කාර්යාවලිය තුළ සිව්වනක් පිරිසගේම දායකත්වය අපේක්ෂා කළේ ද මෙකී යථාර්ථය තුළ බහු ජනතාවගේ හිත සුව පිණිසම ය. මේ චතු පිරිසගේ සක්‍රීය අන්‍යෝන්‍ය එකගතාවක් නොමැතිව සසුනෙහි පරමාර්ථ සාධනය කර ගැනුම දුෂ්කර මෙන්ම ප්‍රායෝගික නොවන්නක් බව පෙනෙන නිසාම සිව්වණක් පිරිසෙහි එකගබව බුදුරදුන් අපේක්ෂා කළ බව අපගේ පිළිගැනීමයි. තවද සියලු මනුෂයින් කාමයේ ප්‍රතිඵලයන්ය යන්න බුදු සමයේ පිළිගැනීමයි. ලොවැ කර්මානුරූපව ඕපපාතිකව පහළවන ඇතැම් සත්ව කොටසක් හැරෙන්නට මනුෂ්‍යයින් පහළ වන්නේ දෙමව්පියන් නිසාම වෙයි. ලොවට බුදුවරයකුගේ පහළවීම සිදුවන්නේද කාමයේ ප්‍රතිඵලයක් වශයෙනි. ශ්‍රාවක සංඝයා ද එවැනිම කාමයේ ප්‍රතිඵලයන්ම වෙයි. ලොවැ සියල්ලන්ම එකවර විමුක්තිය ලැබෙතැයි යන පරමාදර්ශය බුදු සමය පිළිනොගන්නා අතර සීමිත පිරිසක් නෛක්‍රම්‍ය ජීවිතයට ඇතුළත්වී විමුක්තිය සාක්ෂාත් කරගනු ලබයි. එවැන්නන් ලොවැ යථා ස්වරූපය දැක ප්‍රඥා මූලිකව සසර බිය දක්නා අයයි. හැම කෙනෙක්ටම එලෙස සංවේදී විය නොහැකි අතර ඒ සදහා සම්පූර්ණ කළ යුතු පාරමිතා ශක්තියක් අවශ්‍ය වෙයි. එසේම පැවිද්ද අභ්‍යාවකාශය මෙන් ද භික්ෂුව එහි ඒමේ අත පියාසර කරන පක්ෂියකු මෙන් ද බුදු සමය පෙන්වා දෙන අතර ගිහි ගෙය නිර්වාණාපේක්ෂකයාට සම්බාධ සහිත තැනක් ලෙස හදුන්වයි. විවාහ ජීවිතය පිළිබද බෞද්ධ ඉගැන්වීමක් අවශ්‍යවන්නේ ජීව විද්‍යාත්මක පදනමක වන ලිංගික ජීවිතය පිළිබද ඉගැන්වීමක් ලෙස නොව විවාහ ජීවිතය හා බැදි සාර ධර්ම තුළින් වඩා යහපත් සමාජ බන්ධනයක් පුද්ගල ජීවිතයට එක් කිරීමටයි. මන්ද ප්‍රව්‍රජිතයා මෙන්ම ගිහියාද යම් ධාර්මික පැවැත්මක් මත නිර්වාණගාමී මග යායුතු බව බුදු සමයේ පිළිගැනීම වන බැවිනි. අනෙක් අතින් අවිවාහික තනිකඩයාගේ පැවැත්ම සමාජ සදාචාරයට නොගැලපෙන්නක් වන බැවිනි. වගකීමෙන් තොර සමාජ පැවැත්මට බුදු සමය අකමැති වන අතරම වගකීම් සහගත ධාර්මික විවාහ ජීවිතය ප්‍රශංසාවට ලක්කරයි. මක්නිසාදයත් ප්‍රව්‍රජිත සමාජය බිහිවන්නේ මහා සමාජය වන ගෘහස්ථ සමාජයෙන්ම වන බැවිනි.
විවාහකයාගේ ධාර්මික පැවැත්ම දෙවියන්ගේ පවා වන්දනයට ලක්වන බව බෞද්ධ ඉගැන්වීමයි. දිනක් සක් දෙවිදු මනුලොව දෙසට හැරී නමස්කාර කරනු දුටු මාතලී රථාචාර්යයා ඊට හේතු විමසූ කල සක් දෙවිදු පැවසුවාය යනුවෙන් සදහන් වන්නේ " ගිහි ජීවිතයක් ගතකරන සිල්වත් ධාර්මිකව භාර්යාව පෝෂණය කරන පිනෙහි යෙදුණු උපාසකයෙක් වේ නම් මා ඔහුට නමස්කාර කරමි" යනුවෙනි. මේ පුරාණ කතාවෙන් උගන්වන බෞද්ධ සදූපදේශය තුළ අවධාරණය කරන්නේ විවාහ ජීවිතය ධාර්මික විය යුතු බවකි. ඒ තුළ සංවරය ඇතිකරගත යුතු බවයි. ආජීවය පාරිශුද්ධවීම පිළිබදවද මෙයින් කියැවෙන බැව් අපට පෙනෙයි. ස්වාමියා විසින් සිය භාර්යාව අධාර්මිකව ලද ධනයෙන් පෝෂණය කරන්නේ නම්, සමාජගත ගැටලු මතු කරයි. එය ඔවුනගේ සොම්නස පවුල් සංස්ථාවෙන් අතුරුදන් කරවීමට හේතුවනු ඇත. සමාජ සාධු සම්මතයන්ට එරෙහිව යන ධනෝපාර්ජනය තුළින් සමාජ සබදතා බිද වැටෙන්නට මෙන්ම සමාජ ගැරහුමට ලක්වීමට හේතුවෙයි. අනෙක් අතින් ස්වාමියා හා භාර්යාව මනා ගැලපීමක් ඇතියවුන් විය යුතුයි. නැතොත් බොහෝ ගැටලු ඇතිවීමට පිළිවන. එබැවින් බුදුසමය විවාහ ජීවිතයකට අත්‍යාවශ්‍යයැයි ශ්‍රද්ධාව, ශීලය, ත්‍යාගශීලී බව සහ ප්‍රඥාවන්ත බව ඇතිකර ගැනීමට උගන්වයි. ඇත්තෙන්ම මේ ගුණ දම් විවාහක යුවලක් තුළ සමානව වර්ධනය වන්නේ නම් එය වූ කලී නක්ෂත්‍ර පොරොන්දම් ගැලපීමකට වඩා ගැඹුරු ආධ්‍යාත්මික ඒකාත්මික බවක් ගොඩනගන්නක් බව අපගේ අදහසයි. එලෙස මේ ගුණ දම් වර්ධනය කරගැනීම තුළ සාංසාරික වශයෙන් ඔවුන්ගේ එකතුවීම කෙරෙහිද බලපෑමක් සිදු කරන බව සිද්ධාර්ථ-යශෝධරා මෙන්ම පිප්ඵලී කුමරුගේ යුග දිවිය වැනි පරමාදර්ශී කතා පුවත් තුළින් පෙන්වා දෙමින් බුදු සමය විවාහ ජීවිතය ගුණ දම් ප්‍රගුණ කිරීමට අවකාශ විවර කළ පුණ්‍ය ක්ෂේත්‍රයක් බව තහවුරු කරයි. ඇත්තෙන්ම ඉහත කී ශ්‍රද්ධාදී ගුණ දම් දෙවියන් අතරට යාම පිණිස උපකාර වන ධර්ම වෙයි. මිනිසාට වඩා පංචකාම සම්පත් දෙවියන් අතර තිබෙන බව බෞද්ධ ඉගැන්වීම වුවද ඒවායේම ඇලී ගැලී සිටින ස්වභාවයක් රහිත සම්‍යග්දෘෂ්ටික දෙවියන් ධර්මය ප්‍රගුණ කරන බවද බුදු සමයේ පිළිගැනීමයි. සෝතාපන්නාදී බුද්ධශ්‍රාවකයින් දෙව්ලොව ඉපිද සිය සාංසාරික ගමනේ අවසානය භාගය පසුකරමින් සිටින නිදසුන් ඕනෑතරම් පෙන්වාදී ඇති බැවැනි. එහෙයින් ස්වාමි-භාර්යා සම්බන්ධය තුළ මිනිසා දේවත්වය දක්වා උසස් කිරීමක් මෙන්ම යහ පැවැත්ම නිසාම දෙවියන්ගේ පවා වන්දනයටත් ප්‍රශංසාවටත් ලක් වන බව බුදු සමයේ පිළිගැනීමයි.
පස්කම් සැප විදීම විවාහයේ එකම පරමාර්ථය විය යුතුය යන තත්කාලීන සමාජයේ පිළිගැනීමට ලක්වූ පශ්චාත් බ්‍රාහ්මණික චින්තනය සමග එකහෙලාම විසංවාදී සදූපදේශ රැසක් බෞද්ධ ඉගැන්වීම තුළ ප්‍රකට කරයි. ඇතැම් විවාහයකදී දෑවැද්ද අත්‍යාවශ්‍ය කටයුත්තක් ලෙස සැලකුවේ බ්‍රාහ්මණ සම්ප්‍රදායයි. නමුත් බුදු සමය තුළ එවැන්නක් සාකච්ඡාවට ලක් නොවන අතර ගෘහස්ථ සංස්කෘතියේ වැදගත් අංගයක් ලෙස සාර්ථක විවාහ ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය ඉගැන්වීම් රැසක් බුදුසමය පෙන්වාදෙන බව අපගේ අදහසයි. ඒ අනුව වැඩිමනක් බ්‍රාහ්මණ චින්තකයින් නිර්දේශ කළ පරිදි වයසින් වැඩි පිරිමියකු සමග වයසින් ඉතාම අඩු දැරිවියන් පවා මාපිය එකගකාව සහිතව විවාහවීම ගැටලුවක් නොවුණි. නමුත් බුදු සමය ඊට එකග නොවේ. එය වූ කලී විවාහක ජීවිතය පිළිබද යහපත් පූර්වාදර්ශයක් නොවන්නා සේම අන්‍යෝන්‍ය සැකය ඇතිකරවන පිරිහීමට පත් කරවන අසාර්ථක විවාහයක් ලෙස බැහැර කරයි. බුදු සමය අන්‍යෝන්‍ය විශ්වාසය අගය කරයි. "පරම විස්සාසිකා" යන ගෞරව නාමය නකුල මාතා, නකුල පිතා යන දම්පතීන් අරඹයා බුදුරදුන් විසින් ලබා දුන්නේ විශ්වාසය යන්න විවාහක දෙපලකට ප්‍රමුඛ සාධකයක් වන බව ඒත්තුගැන්වීමේ අරමුණින් බව අපගේ අදහසයි. අනෙක් අතින් ගිහියාගේ නිත්‍ය ශීලය ලෙස සැලකෙන පංචශීල ප්‍රතිපදාව තුළ තෙවැනි සික පදය වෙන්වන්නේද විශ්වාසය කඩ නොකොට සදාවාර පිළිවෙතක් විවාහය හා බද්ද කිරීමටයැයි ප්‍රකාශ කළ හැකිය. ඒ අනුව 'ස්වදාර සේවනය' යන්න ගිහියන්ගේ බ්‍රහ්මචර්යාව ලෙස පැරැණි යතිවරු හදුන්වන්නේ එය සංවරශීලී ජීවන මගට බාධාවක් නොවනා නිසාවෙන්ම බව කිව හැකිය. නොකරන්න යැයි අවධාරණය කරන්නේ පරදාර සේවනයයි. ඉන් ප්‍රථමයෙන් තමාගේ නිවස තුළත් දෙවනුව සේවනය කරන්නට යන නිවස තුළත් මේ නිවෙස් දෙක අතරත් ගැටුම් ඇතිවී සමාජ ගැටලු රාශියක් ඇතිකරවන්නක්ම වන බැවිනි. එසේ නොමැතිව ගෘහස්ථ ජීවිතය තුළ ලිංගික අවශ්‍යතාව පැන නොනගින්නේ නම් එය ඉහත කී පිප්ඵලී කුමාරයාගේ කතාවට සමාන නෛෂ්ක්‍රම්‍යය සාංසාරිකව පුරුදු කරමින් පැමිණි දෙපලකගේ යථාර්ථාවබෝධයෙන් සපිරි කලාතුරකින් හමුවන පරමාදර්ශයක්ම විය යුතු බව අපගේ විශ්වාසයයි. එය නොදැමුණු මනැසකට එක එල්ලේ ග්‍රහණය නොවන සියුම් ආධ්‍යාත්මික බැදීමකැයි සැලකීම වඩා උචිතය. නමුත් මහා සමාජය ලෙස ගෘහස්ථ සමාජ ජීවිතයකට එතරම් ගැඹුරු පදනමක් සහිත ප්‍රවාදයක ඇති උපයෝගීතාව අතිශය අල්ප බව අපට හැගීයන්නේය. නමුත් බෞද්ධ ඉගැන්වීම තුළ විවාහ ජීවිතය සම්බන්ධයෙන් ඇතිකරන ශික්ෂාකාමී සදූපදේශයන් වැඩි පිරිසකගේ සහභාගීත්වය ගෘහස්ථ සංස්කෘතිය වීම නිසාම සිදු කළ බව සිතීමද සාවද්‍යය. විවාහ ජීවිතය සදාචාර පිළිවෙත් පූර්ණ කරනු වස් බාධා නොවන තැනක් බව බුදුසමය පිළිගන්නා බැවින් එයට අවශ්‍ය ධාර්මික න්‍යායාත්මක පදනම ගොඩනැගීම පිණිස කටයුතු කිරීම බෞද්ධ ඉගැන්වීම වන බව පිළිගැනීම වඩාත් ප්‍රඥා ගෝචර ය.
ගිහි විනය ලෙස හදුනාගන්නා සිගාලෝවාද සූත්‍රයෙහිද ස්වාමියකු සහ බිරියක විසින් ඉටුකරගත යුතු යුතුකම් දහයක් බුදුරදුන් විසින් දේශනා කර ඇත. එහි බටහිර දිශාවට නම් කර ඇති භාර්යාව කෙරේ ස්වාමියා විසින් ඉටු කළ යුතු යුතුකම් ලෙස බිරිදට ගරු කිරීම,අවමන් නොකිරීම, පර ස්ත්‍රීන් කරා නොයාම, ඉසුරු පවරාදීම, ආභරණාදිය සපයාදීම යන්න දැක්වෙයි. ඒ යුතුකම් වලින් සංග්‍රහ ලබන බිරිද විසින්ද පෙරළා යුතුකම් පහකින් ස්වාමියාට සංග්‍රහ කරයි. ඒ අනුව ගෙදර සියලු කටයුතු මැනවින් ඉටුකිරීම, සැමියාගේ සපිරිවර ජනයාට සංග්‍රහ කිරීම,පර පුරුෂයන් කරා නොයාම, ස්වාමියාගේ ධන සම්පත් ආරක්ෂා කිරීම, සියලු කටයුතු වල දක්ෂව හා අනලස්ව ඉටුකරීම යන යුතුකම් එහි දැක්වෙයි. මෙයින් අපට පෙනෙන්නේ ස්වාමි-භාර්යා සම්බන්ධය තුළ සාර්ථක යහ පැවැත්මක් උදෙසා මේ යුතුකම් පද්ධතිය සක්‍රීය කිරීමෙහි ඇති වැදගත්කමයි. අන්‍යෝන්‍ය ගෞරවය සහ සුහදතාව සුරැකෙන මේ යුතුකම් පද්ධතිය විවාහ ජීවිතයෙහි ගැටුම් ඇතිවීම වලක්වයි. බිරිය නිවසේ සිදුකරන දරුවන්ගේ හා ස්වාමියාගේ කුදුමහත් කටයුතු සැමියාගේ ඇගයීමට ප්‍රශංසාවට ලක් කිරීම ඇයට කරන ගෞරවයකි. අන්‍යයන් ඉදිරියේදී හෝ ඇයට අපහාස වන වචන කතා නොකොට අර්ථ සම්පන්න මෘදු මොලොක් වචනයෙන් සංග්‍රහ කිරීම ද ඇගේ ගෞරවය ආරක්ෂා කිරීමක් මෙන්ම පවුලේ සමගිය සුරක්ෂිත කරන්නක් වන බව අපගේ අදහසයි. බිරිදත් ස්වාමියාත් දෙදෙනාම පරදාර සේවනය කිසිම විටක නොකිරීම පවුල් සංස්ථාව තුළ සාමග්‍රිය සුරක්ෂිතවීමට මෙන්ම සමාජ ගැටලු සහ නූතනයේ බොහෝ කතාබහට ලක්වන සමාජ රෝග වලින් මිදීමට හේතු වන බව ස්ථිරය.එසේම බිරිය සිය නිවසේ ආර්ථිකය පිළිබද අවදිමත් බවකින් මෙන්ම අරපිරිමැස්ම ඇති අයෙකු විය යුතුය. එහෙයින් එවැනි බිරිදකට ස්වාමියා විසින් නිවසේ මුදල් පාලනය පිළිබද අයිතිය ලබාදීමෙහි වරදක් නැත. නිවසේ අඩුපාඩු පිළිබද ස්වාමියාට වඩා අවබෝධයක් ඇත්තේ බෝහෝ විට ගෘහනියටයි. එනිසාවෙන් ඇයට ඉසුරු බාරදීමෙන් පවුලේ ආර්ථික කළමනාකරණය ප්‍රශස්ත වන බව අමුතුවෙන් නොකියමනාය. තවද බිරියට මළ ගෙදරකට මගුල් ගෙදරකට ආදී වශයෙන් ඇදීමට පැළදීමට සුදුසු වස්ත්‍රාභරණ අවශ්‍යය. ස්ත්‍රීන් ඒවාට පුරුෂයිනට වඩා කැමැත්තක් දක්වන බව කිව හැකිය. මේතුළ බුදුරදුන් පවුල් සංස්ථාවෙහි අන්‍යෝන්‍ය සුහදතාව විශයෙහි සියුම් ලෙස අවධානය යොමු කළ බවත් විවාහක ජීවිතය පිළිබද බුදුරදුන් තුළ පැවැති විශිෂ්ට අවබෝධයත් අපට ප්‍රකට වෙයි. විශේෂයෙන්ම තත්කාලීන භාරතීය සමාජයෙහි පැවැති බ්‍රාහ්මණ චින්තනය විසින් බිරිය නිවසෙහි වහලියකගේ තත්වයට ඇද දමමින් ස්වාමියාට භක්තිමත්ව දරුවන් තැනීමත් ස්වාමියාගේ මන දොළ සපුරන්නට ඇති පංචකාම වස්තුවක් ලෙසත් සලකමින් ඇයගේ ගෞරවය මෙන්ම නිදහසේ නිවසේ කටයුතු කෙරේ මැදිහත්වීමේ අයිතිය අහිමිකර තිබූ බව මෙහිදී මතක් කළ යුතු කරුණකි. එවැනි තත්වයක බුදුරදුන්ගේ මේ පැහැදිලි කිරීම් එක් අතකින් විප්ලවීය සමාජ ශෝධනයක් උදෙසා පවුල් සංස්ථව තුළින්ම යථාර්ථවාදී එළඹුමක් ඇතිකරන බව අපගේ පිළිගැනීමයි. නිවසේ කටයුතු කරේ දක්ෂවන ස්වාමියාටත් ඥාති හිතමිත්‍රාදීන්ටත් නිසි ලෙස සංග්‍රහ කරන ස්වාමියා සතු සම්පත් අරපිරිමැස්මෙන් විය පැහැදම් කරන බිරිදක් වෙත ස්වාමියාගේ සම්මානනීය ගෞරවය හිමිවිය යුතු බවට වන තාර්කික යුක්තියක් මේ යුතුකම් අතර වන බව අපගේ විශ්වාසයයි.

විවාපත් වන බිරිය පිළිබද තේරුම්ගැනීමට උගන්වන බෞද්ධ ඉගැන්වීමක් ලෙස 'සප්ත භාර්යාවන්' පිළිබද ඉගැන්වීම ඉතා අගනේය. ඒ අනුව මිතුරකු වැනි බිරිදත් මවක් වැනි බිරිදත් සොයුරියක් වැනි බිරිදත් බුදු සමයේ ප්‍රශංසාවට ලක්වන අතර වධකයකු වැනි බිරිදත් හෙරක් වැනි බිරිදත් අධිපතිනියක වැනි බිරිදත් නොගැලපෙන බව නිර්දේශ කරයි. 'දාස භරියා' යන්න ප්‍රශංසාවට ලක් නොවන අතර ප්‍රතික්ෂේප කරන්නේද නැත. මක්නිසාදයත් ගෘහ කාර්යයන් තුළ ස්වාමියාගේත් දරුවන්ගේත් කටයුතු කිරීමට මැදිහත්වීම තුළ ඇතැම් විට දාසියගේ භූමිකාවට සමාන වන බැවිනි. නමුත් දාසියක් මෙන් හැම කටයුත්තකම හැසිරීමක් එයින් අදහස් නොකරන අතර බුදුසමය ප්‍රායෝගික භාවිතය මිස පරමාදර්ශී හිතානුකම්පාව ඇගයීමට ලක්නොකරන නිසා එසේ විය හැකි බව අපගේ පිළිගැනීමයි. සැමියා මිතුරකු මෙන් ද තවත් විටෙක සොයුරෙකු ලෙසද පියෙකු මෙන් ද දකිමින් හිතානුකම්පීවත් එකිනෙකාට ගෞරවයත් සුහද බවත් ප්‍රකාශ කරමින් දෛනික ජීවිතය තුළ අන්‍යෝන්‍ය ස්නේහවන්ත බවින් සංග්‍රහ කිරීමත් අවශ්‍ය බව බුදු සමයෙහි මග පෙන්වීම බවයි අපගේ අදහස වන්නේ. මෙලෙස යහපත් ගෘහස්ථ ජීවිත ගෙවූ ස්වාමියන් සහ භාර්යාවන් පිළිබද ඕනෑතරම් නිදසුන් බුද්ධකාලීන භාරතයෙන් අපට අසන්නට ලැබෙන නිසාවෙනි. ඒ අනුව අචල ශ්‍රද්ධාවට පත් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයන් පවා සාර්ථක ගෘහ ජීවිත ගතකර අපට ආදර්ශ සපයා ඇත. බිම්බිසාර රජු එවැනි ගිහි සවුවෙකි. අග්‍ර දායකයා වූ කොසොල් රටේ අනේපිඩු සිටුතුමා ද එවැනි නිදසුනකි. අග්‍රදායිකාව ලෙස විශාකාවද බොහෝ දරු සම්පත් ලබා ශාසනික මෙහෙවරක් සිදුකළ උතුම් ආර්ය ශ්‍රාවිකාවක් විය. ඔවුන් ගෘහස්ථ ජීවිතය තුළ බොහෝ පින් කුසල් කොට සිය සාංසාරික ජීවිතය නිමාවන්නට ප්‍රථම තවත් සම්‍යග්දෘෂ්ටික ජීවිත මෙලොවට බිහි කරමින් සසුනට හිත වැඩ සැලසූ උතුම් ආදර්ශයන්ම වන බව අපගේ පිළිගැනීමයි. විශේෂයෙන්ම විශාකාවගේ පියා දුන් අවවාද බෞද්ධ ඉගැන්වීම තුළ ප්‍රශස්ත ලෙස ඇගයීමට ලක් කරන්නේද එහි විවාහ ජීවිතයකට ඇති හරවත් උපයෝගීතාව සැලකීමෙන් බව අපගේ අදහසයි. කෝසල සංයුක්තයෙහි එන 'ධීතු' සූත්‍රයේ බුදුරදුන් දුවකගේ ඉපදීමත් පසුව ඇය විවාපත්වී ශීලවන්ත වූ නැදිමයිලන්ට සලකමින් රටක් දේශයක් පාලනය කිරීමට සුදුසු පුතෙකු බිහිකරන්නේය යන බුද්ධ වචනය මෙවන් සාර්ථක ගෘහ ජීවිත පිළිබද ප්‍රායෝගික වූ නිදර්ශන තුළින් ගම්‍යවන බව අපගේ කල්පනාවයි.

විවාහ ජීවිතය තුළ අන්‍යෝන්‍ය ගැලපීම මත කරන ලද වර්ගකිරීමක් බෞද්ධ ඉගැන්වීමෙහි එයි. ඒ අනුව මළමිනියක් හා මළමිනියක් එක්ව විසීම, මළමිනියක් දෙව්දුවක හා එක්ව විසීම, දේව පුත්‍රයෙක් දෙව්දුවක හා විසීම, දේව පුත්‍රයෙක් මළමිනියක් හා එක්ව විසීම යනුවෙන් දැක්වෙන එම ඉගැන්වීමෙහි 'දේව' යනු සදාචාර සම්පන්න යහපත් චරිත ස්වභාවය අදහස් කරන අතර 'මළ මිනිය' යන්නෙන් අශ්ශීල පැවැත්මක් සහිත වංක බවත් අධාර්මික පහත් යැයි කිව හැකි සදාචාර පිළිවෙත් කඩකරන චරිත ස්වභාවයත් ගම්‍යවෙයි. මෙයින් බුදුසමයේ ඇගයීමට ලක්වන්නේ "දේව පුත්‍රයෙක් දෙව් දුවක හා එක්ව විසීම"යි. අන්‍යෝන්‍ය විශ්වාසය මත පදනම් වූ සදාචාරවත් ධාර්මික පැවැත්ම තුළ කොයි ආකාරයෙන් විවාහ වුවද ප්‍රඥාපූර්වක අවබෝධයක් ලැබීම තුළ යුග දිවිය සාර්ථක කරගනිමින් දෙමාපිය වැඩිහිටියන්ට කෘතවේදීව සැලකුම් කරමින් සමාජගත ජීවිතය පුණ්‍ය ක්ෂේත්‍රයක් ලෙස දකිමින් ලෞකික ජීවිතය සාර්ථකව ගත කරමින් ආධ්‍යාත්මික නැඹුරුවක් සහිතව ආර්ය මාර්ගයෙහි අවෙච්ඡප්‍රසාදයට පත්ව ස්වර්ගගාමී වීමටත් තාරුණ්‍යය සමාජයේ හිතවැඩ පිණිස යොදවමින් ත්‍රිවිධ ශාසනයාගේ මතු පැවැත්ම උදෙසා අනාගත පරපුරක් බිහිකිරීමටත් බෞද්ධ ඉගැන්වීම් තුළ සදූපදේශයන් ඉදිරිපත් කරන බව අපගේ පිළිගැනීමයි. නූතනයේ ඇතැම් බටහිර සංකල්ප අනුව හැඩගැසුණු බොළද චර්යාවන් විවාහය පිළිබද බෞද්ධ ඉගැන්වීම් හා විසංවාදී වන්නේ ද ගැඹුරු ආධ්‍යාත්මික පදනමක් මත පිහිටා බුදුසමය වෛවාහික සදූපදේශ ඉදිරිපත් කරන බැවිනැයි අපට හැගීයන්නේය. 'ප්‍රේමය' වැනි සංකල්ප නූතනයේ බෞද්ධ සංස්කෘතියට වැරදි ලෙස එක්වීමට උත්සාහ දරන බව අපට නොරහසකි. ප්‍රේමයෙන් මත්වී කාමුක ගුණ මෙන්ම තෙරුවනෙහිද ගුණ ඇතුළත් ගීයක් ගැයූ පංචසිඛව බුදුරදුන් පිළිකෙව් නොකළ අතර ගීයෙහි හා වීනාවාදනයෙහි ගැලපීම ඇගයීමට ලක්කරයි. ප්‍රේමය අර්ථශූන්‍යයැයි ගිහි සමාජයට තහංචි දැමීමක් බුදුසමය සිදු නොකරන බව එයින් අපට පැහැදිලි වෙයි. නමුත් යථාර්ථය ඍජුව පෙන්වන බුදුසමය ප්‍රේමය බියත් ශෝකයත් උපදවන්නක් බව දේශනා කරයි. ස්ත්‍රී පුරුෂයන් අතර නොදැමුණු චෛතසික භාවයන් ඇති කල්හි සරාගී කල්පනාවන් ඇතිවීම වැලැක්විය නොහැකිය. ජීව විද්‍යාත්මකව සිතා බැලුවද තාරුණ්‍යයත් සමාජ පරිසරයත් මේ බන්ධනයට දක්වන්නේ එකග බවක් බව අපගේ අදහසයි. අප මෙහි මුලින් සදහන් කළ අග්ගඤ්ඤ සූත්‍රගත අදහස තුළම විමසුවද ස්ත්‍රියට පුරුෂයාත් පුරුෂයාට ස්ත්‍රියත් දැකීම තරම් රාගය උපදවන, කාමය වෙත බලකරන තවත් දර්ශනයක් නොමැත්තේමය. නමුත් එය සමාජ සම්මත සාරධර්මයන් උල්ලංගනය වන අයුරින් අවිනීතව ප්‍රකාශවීම සමාජ ගැරහුමට ලක්වන්නක් බව ප්‍රසිද්ධියේ මෙවුන්දම් සෙවූ ප්‍රකෘති සමාජයේ ඇතැම් බහුතර පිරිසකගේ ගැරහුමටත් පස්, ගොම, අලු ආදියෙන් දමා ගැසීම පිළිබද පුරාවෘත්තමය ලෝකෝත්පත්ති වංශකතාවෙන් පෙනීයන්නේය. සත්වයාගේ ඒකීයත්වය ජීව විද්‍යාත්මක පදනමක් තුළ පැහැදිලිව පෙනෙන අයුරින් මුලින්ම භේද වන්නේ ස්ත්‍රී සහ පුරුෂ ලෙස බව ඉන් විද්‍යමාන වෙයි. එකී ඒකීයත්වය බරපතල ලෙස බිදවැටීම සත්වයාගේ උදාසීන ක්ලේෂ ධර්මයන් පිබිදීමටත් ලැජ්ජාව සහ භය යන සංවරයෙහිලා පදනම්වන මූල ධර්ම බිදවැටීමටත් හේතුවන බව සූත්‍රගත ප්‍රවාදය පෙන්වාදෙයි. අසද්ධර්මයෙහි බොහෝවෙලාවක් යෙදිය යුතු බවට පැමිණීමත් අසද්ධර්මය වසාලනු පිණිසත් ගෙවල් කරවීය යනුවෙන් සදහන් සූත්‍රගත පාඨයෙන් අපට පෙනෙන්නේ විවාහ ජීවිතය සංවරය මතම ගොඩනැගිය යුතු බවට බුදු සමය අවධාරණය කරනා බවයි. අනෙක් අතින් කාමය එක එල්ලේම බැහැර කරමින් සාංසාරික විමුක්තියක් අපේක්ෂා කළ නොහැකි බහුතරයක් වන ගෘහස්ථ සමාජයේ සාතිශය පිරිසකට ස්වදාර සන්තෝෂය තුළ වඩා යහපත් ධාර්මික සමාජ පදනමක් ගොඩනගාගනිමින් ආගමික වත්පිළිවෙත් සිදුකරගනිමින් උසස් ශික්ෂණයක් සහිත බෞද්ධ සංස්කෘතියක් පිළිබද අපේක්ෂා දැනවීමට බුදුසමය අනුබල දෙන බව අපගේ පිළිගැනීමයි.

(**__විවාහ ජීවිතය පිළිබද බෞද්ධ ඉගැන්වීම__ 01 " යන මැයෙන් වන මෙය ලිපි පෙළක පළමුවැන්නයි. විචාරශීලී ලිපි පෙළක් වන මෙය සංවාදයට විවෘත ය. ඇතැම් මූලාශ්‍ර පාඨ සහ මූලාශ්‍රයන් අන්තර්ගත නොකළේ විස්තරය සංක්ෂිප්ත කරනු රිසියෙනි. අධ්‍යයනයේ යෙදෙන්නන්ට කර ඒ පිළිබද විමසීමට අවකාශ මෙම පිටුව තුළ මාගේ ලිපි සියල්ලටම විවෘතය.)
------- අරෝෂ සමරසේකර -------

Buddhist civilization ගේ ඡායාරූපය
_______භික්ෂු ජීවිතය හා භික්ෂුවගේ කාර්යභාරය_______01 

බෞද්ධයාට භික්ෂුවත් සමග ඇත්තේ අවියෝජනීය සබැදියාවකි. ලාංකීය බෞද්ධ සංස්කෘතිය විෂයෙහි භික්ෂු ජීවිතය හා භික්ෂුවගේ කාර්යභාරය ගසට පොත්තත් පොත්තට ගසත් මෙන් එකිනෙක සම්බන්ධ වෙයි. එබැවින්ම භික්ෂු ජීවිතය හා භික්ෂුවගේ කාර්යභාරය පිළිබද විමසීමක් හා නැවත සොයා බැලීමක් අවශ්‍යයැයි අපට හැගී යන්නේය. ඇත්තෙන්ම භික්ෂුව යනු කවරෙක්දැයි ප්‍රථමයෙන්ම අප විසින් සොයා බැලිය යුතුය. භික්ෂු ජීවිතය පිළිබද යම් අවබෝධයක් තුළින් භික්ෂුවගේ කාර්යභාරය කුමක්දැයි විමසා බැලීම මෙහිලා වඩා උචිත වන බව අපගේ හැගීමයි.
ඒ අනුව "භික්ෂු" යන නාමය බුද්ධකාලීන සමාජයේ බුදුරදුන්ගේ ශ්‍රාවක පිරිසට පමණක් නොව වෙනත් සමයාන්තර සම්ප්‍රදායන් තුළ විවිධ ආගමික හා දාර්ශනික මත පිළිගත් අන්‍යතර ආගමික කණ්ඩායම් වල සිටි ශ්‍රාවක පිරිස් වලටද භාවිත වූ නාමයක් ලෙස ප්‍රචලිතව තිබේ. බොහෝ පිරිසක් එවැනි භික්ෂු ජීවිත ගතකළෝය.අප මෙහිදී ඍජුවම අවධානය යොමුකරන්නේ බෞද්ධ භික්ෂුව පිළිබදව වන බැවින් එකී අන්‍යතර ශ්‍රමණ සම්ප්‍රදායන්ගේ "භික්ෂු" යන හැදින්වීම පිළිබද සැලකීම පසෙකින් තබමු. ශාසනික වගකීම් ලත් ජ්‍යෙෂ්ඨ පැවිද්දන්ට 'භික්ෂු' යන නාමය ව්‍යවහාර වූ බව අපගේ පිළිගැනීමයි. ඒ අනුව පැරැණි යතිවරු භික්ෂුව යනු සසර බිය දක්නා,භික්ෂාවෙන් යැපෙන,වැරහැලි හැදගත් ආදී වශයෙනි. නමුත් තත්කාලීන සසුන්ගත පිරිස් මෙන්ම පසුත් බුදුසසුනේ වැඩහුන් භික්ෂූන් වහන්සේලාගේ ජීවිත එසේම විණිදැයි ගැටලු සහිතය. බුදුරදුන් අවබෝධ කළ ධර්මය සුදුසු කල සුදුස්සන් වෙත දේශනා කළ අතර නොයෙක් ආගම් හා දර්ශනවාද පිළිගත් සාතිශය පිරිසක් මේ ධර්මය පිළිගෙන ඒ වටා එක්රොක් විය. මහාවග්ග පාළියේ එන විස්තරය අනුව ප්‍රථම ධර්ම ධර්මදේශනාව පංචවග්ගිය භික්ෂූන් අරඹයා දේශනා කළ අතර ඔවුන් ශ්‍රාවකයින් බවට පත්වෙයි. පසුව ගිහිගෙයි කළකිරුණු යස නැමති කුල පුත්‍රයාත් විමල,සුබාහු,පුණ්ණජි,ගවම්පති යන ඔහුගේ සිව් යහලුවන් සහ ඔවුන්ගේ තවත් යහලුවන් පනස් දෙනෙක් පැවිද්දට පත් විය. එහෙයින් පංචවග්ගිය භික්ෂූන් බුදුසසුනේ ප්‍රථම භික්ෂු පිරිස නියෝජනය කරයි. යස සහ ඔවුන්ගේ මිත්‍ර සමාගමයෙහි තරුණයින් පිරිස ද ගිහි කාමභෝගී ජීවිතය කෙරේ කළකිරී ධර්මයෙහි පැහැදීමට පත්ව භික්ෂූත්වය අපේක්ෂා කළවුන් ය. සාංසාරික විමුක්තියක් අපේක්ෂාවෙන්ම භික්ෂු ජීවිතය වැළදගත්තවුන් ය. මුල් කාලයේ බුදුරදුන් වෙතින් භික්ෂුත්වය ලද බොහෝ ජනයා එබදුම විමුක්ති අපේක්ෂකයින් වූහ. ඒකායන පරමාර්ථය විමුක්තිය ලැබීම හෙවත් නිර්වාණය සාක්ෂාත් කිරීමම වන බැවින් ඔවුහු වැඩිකල් නොගොස් සිය පරම නිෂ්ටාව සාක්ෂාත් කරගත්හ. මහාවග්ගපාළියට අනුව සරණාගමන පැවිද්ද බුදුරදුන් විසින් දේශනාකිරීමට ප්‍රථම පැවිද්දත් උපසම්පදාවත් යන දෙකම "ඒහිභික්ඛු"භාවයෙන් ලබාදුනි. මන්ද එවැනි ඒකායන පරමාර්ථයක් සහිත සහ පැවිද්ද පිළිබද පළපුරුදු අද්දැකීම් ඇති පිරිසකට බුදුරදුන්ගේ "එව මහණ" යන නිර්දේශය පමණකුදු සෑහෙන්නේ ය. නමුත් තත්කාලීන අන්‍ය ශ්‍රමණ කණ්ඩායම් වලද පිණ්ඩාහාරයෙන් යැපෙන, වැරහැලි හැදගත්, සසර බිය දැක්ක පිරිස් විසූහ. එබැවින් බෞද්ධ භික්ෂු ජීවිතයේ අනන්‍යතා ලක්ෂණ ඒ අර්ථකථනයෙන් හුවාදැක්වීම දුෂ්කර බව අපගේ අදහසයි. බෞද්ධ භික්ෂු ජීවිතයේ සාර්ථකම හදුනාගැනීම ප්‍රථමාභිසම්බෝධි සමය ඇසුරින් ලද හැකි බව කිව හැකිය. අප එසේ කියන්නේ එකල විසූ භික්ෂූන් පරමාර්ථ සාධනයෙහි දැක්වූ සාඵල්‍යය ඉහළ අගයක පවත්නා නිසාවෙනි.
බෞද්ධ භික්ෂුවගේ අනන්‍යතා ලක්ෂණ බොහෝමයක් පහසුවෙන් හදුනාගත හැකි අවධිය ප්‍රථමාභිසම්බෝධි සමය(බුද්ධත්වයෙන් විසි වසරක් ගත වන කාලය) බව අපගේ විශ්වාසයයි. එකල විනය ප්‍රඥප්තීන් පවා නොපැනවීමට තරම් කායික වාචසික යන සංවරයක් පැවති බව මූලාශ්‍ර තොරතුරු වලින් තහවුරුව පෙනෙයි. මේ යුගයේ භික්ෂු ජීවිතය වැරදි බහුල එකක් නොවූ අතර ශීල සම්පත්තිය අගය කළ පිරිසක් විය. බුද්ධානුශාසනය එකහෙලා පිළිගත් නැණවතුන්ම විය. ඕවාද ප්‍රාතිමෝක්ෂය ඔවුන්ගේ සංවරයට ප්‍රමාණවත් වූ බව පිළිගත හැකිය. ඒ අනුව මේ කාලයේ භික්ෂු ජීවිතය ඉවසීම ප්‍රගුණ කළ එකක්ම වෙයි. නිවන උත්තරීතර පරමාර්ථය විය. අනුන්ගේ ගුණ නොනැසීමත් අනුන්ට උපවාද නොකිරීමත් පාමොක් සංවරයෙන්ද යුක්ත වූ මේ භික්ෂු පිරිස පමණ දැන ආහාර ගත්තෝය. විවේක සෙනසුන්හි ඇලුම් කරමින් සමවත් සුව වින්දෝ ය. සියලු පව් නොකිරීමත් කුසල් සම්පාදනයත් නිතොර කළ මේ භික්ෂූහු උතුම් නිර්වාණාපේක්ෂාවෙන් සිය සන්තානය පිරිසුදු කළෝය. ආචාරගෝචර සම්පත්තියෙන් යුතුව පාමොක් සංවරයෙන් යුතු වූහ. කාය වාචසික කරමාදියෙහි සිහි නුවණ එලවමින් ඉන්ද්‍රිය සංවරය ඇතිකරගත්හ. ගෘහ ජීවිත ගත කළ මහා සමාජයට සංවරය පිණිස ආදර්ශවත් ජීවන පැවැත්මක් උදෙසා ගැඹුරු ආධ්‍යාත්මික බ්‍රහ්මචරිය ප්‍රතිපත්තියෙන් සංග්‍රහ කළෝය. සමස්ථ බුද්ධ වචනය එක් ගාථාවකට කැටිකරමින් අස්සජි තෙරුන් විසින් උපතිස්ස පිරිවැජියාට දෙසූ ගැඹුරු දහම් පණිවිඩය මේ බවට නිදසුනක් වෙයි. බාහිර පුද පූජා සහ කයට වෙහෙසක් ඇතිකරන දැඩි තාපස ව්‍රත භික්ෂුව විසින් ප්‍රතික්ෂේපිතය. එක්වේල වැලදූ මේ යුගයේ භික්ෂු ජීවිතය අන්තයට යාමක් නොව ශරීරයේ නිරෝගි බවද නිදුක් බවද සැහැල්ලු බවද ශරීර ශක්තියද පහසු විහරණයද අපේක්ෂා කරමින් බුද්ධ ජීවිතය අනුගමනය කිරීමක් වන බව විනය පිටකයෙන් පැහැදිලි වන්නේය.
මුල්කාලීන භික්ෂු ජීවිතවලින් අපට පෙනෙන අනෙක් මූලික ලක්ෂණයක් වන්නේ නිසහස්කාමී බවයි. බුදුසමය භික්ෂු ජීවිතය නිදහසේ ආකාශයේ සරන පක්ෂියකුට සමාන කරයි. පක්ෂියාට ඇත්තේ පියාපත් බර පමණකි. එමෙන් භික්ෂුවද ලෞකික ජීවිතයේ බර බහාලූ අයෙකි. පක්ෂීන් ද තැන තැන නිදහස් පැවැත්මක් සහිතවුන් වෙයි. එමෙන් භික්ෂුවද සංචාරක ජීවිතයක් උරුමකරගත් අයෙකි. භික්ෂුව ගම් නියම්ගම් සැරිසරන්නේය. සමාජය පිළිබද නිතොර අවදිමත්බවින් යුතු අයෙකි. නමුත් හේ නැවත කිසිවිටෙක ලෞකික වූ ගිහියන්ගේ මහා සමාජයට නොයයි. සම්මා සම්බුද්ධ ශ්‍රාවකයා මඩෙන් ඉස්මතු වූ නැවත මඩෙහි නොගැලෙන පියුමකට උපමා කරන්නේ ද එහෙයිනි. බුදුරදුන්ද සංචාරක ජීවිතය ප්‍රිය කළ බව අපගේ පිළිගැනීමයි. ජේතවනාරාමය, වේලුවනාරාමය, පූර්වාරාමය වැනි සුවිසල් මන්දිර සම ආරාම තිබුණත් බුදුරදුන් පිණ්ඩපාතය පිණිස ගමට නගරයට වැඩම කරයි. මේ ආදර්ශය භික්ෂුව නිරන්තරයෙන් ලැබූ බව සන්සුන් ඉදුරන් ඇතිව ගම්දනව් සැරිසැරූ දහස් ගණන් භික්ෂූන් පිළිබද නිතර හමුවන තොරතුරුවලින් ගම්‍ය වෙයි. ප්‍රථම රහත් හැටදෙනාවහන්සේ අමතා සිදුකළ බුද්ධානුශාසනය භික්ෂු ජීවිතය තුළ ප්‍රායෝගික භාවිතය වූ බව ඒ අනුව පැහැදිලි වෙයි. නිර්වාණය පරමාර්ථය කරගත් බෞද්ධ භික්ෂුවට වඩා උචිත නිදහස් හුදෙකලා ජීවිතය බව මුල්කාලීන භික්ෂු ජීවිත නිදහස් පැවැත්මක් මත ගොඩනැගී තිබීමෙන් පෙනීයන්නේය. ආරාම තැනීමේදී වුව නගරයට මදක් ඈතින් පිහිටීම උචිතයැයි බුදුරදුන් නිර්දේශ කරන්නේ ඝෝෂාකාරී පරිසරය ආධ්‍යාත්මික හැකියාවන් වර්ධනය කරන භාවනානුයෝගී භික්ෂුවට හිරිහැරයක් වන නිසාම බව අපගේ අදහසයි. ධම්මපදයේ භික්ෂු වර්ගයේ එන පරිදි භික්ෂුව තමාටම දොස් නගන්නෙකු විය යුතුය. තමාම විමසිය යුතුය. එසේ තමාම රැකගන්නෙකු විය යුත්තේය. යෝනිසෝ මනසිකාරයෙන් සෑම විටම ප්‍රත්‍යවේක්ෂා කිරීමක් භික්ෂුවගේ ජීවිතය පුරාවට දක්නට හැක්කේය. "තෙමේම තමහට පිහිට වන්නේය. තෙමේම තමහට පිළිසරණ වන්නේය. එබැවැන් අශ්ව වෙළෙන්දෙකු උතුම් අශ්වයකු රක්නා සේ තමා රැකගත යුත්තේය" යනු බුද්ධ භාෂිතයයි. එහෙයින් භික්ෂු ජීවිතය උතුම් ප්‍රඥාව අවදිකරන ක්ෂේම භූමියක් වැනිය. ප්‍රඥාව අවධිකිරීමට නම් ධ්‍යාන කළ යුතුවන්නේය. පට්ඨානය හෙවත් භාවනාව සම්පූර්ණ කළ හේ නිවන දක්නේය. සතුට බහුල කොට බුදුසසුනෙහි පැහැදීමට පත්වූ භික්ෂු ජීවිතයක් තුළ ඒකාන්ත සැපය වන ශාන්ත පදය හෙවත් නිර්වාණය සාක්ෂාත් කරනා බව බුදුසමයේ ඉගැන්වෙන්නේ එහෙයිනි. මෙහි සතුට යනු ලෞකික වූ පසිදුරන් පිනවීමෙන් ලබන සතුට නොව ආධ්‍යාත්මික වූ නිරාමිස පැහැදීමකි. ඒ අනුව ගිහිගෙයි සම්බාධ සහිතය, කෙළෙස් රජස් සහිතය, යනුවෙන් අභ්‍යාවකාශය වැනි පැවිද්දට පත් භික්ෂුව මහා සමාජය වන ගෘහස්ථ ජීවිත ගතකරන්නන්ට වඩා වේගයෙන් හංසයකු මෙන් ජව සම්පන්නව නිවන කරා ගමන්කරන බව බුදුරදුන් දේශනා කරන්නේ භික්ෂු ජීවිතය තුළ ඇති දැඩි ආධ්‍යාත්මික පදනම නිසාවෙන්ම බව අපගේ පිළිගැනීමයි.
භික්ෂුවගේ ජීවිතය සරල බවත් අල්පේච්ඡ බවත් මත පදනම් විය යුතු බව බෞද්ධ ඉගැන්වීමයි. 
ඒ අනුව භික්ෂුව අල්පවූත් මහත්වූත් සියලු ලෞකික ලාභාපේක්ෂාවන් හැර පියා බුදුසමයේ පැවිද්ද ලබන්නේ ආධ්‍යාත්මික සංවර්ධනය තුළ නිර්වාණය ඒකායන පරමාර්ථය කරගෙනයි. එය " සියලු දුක් හැරපියා නිවන් සාක්ෂාත් කරගැනීම පිණිස මේ කසාවත ගෙන මට පැවිද්ද ලබාදෙන්න" යන පැවිද්ද ඉල්ලීමේ පාඨයෙන්ම පෙනෙයි. එසේ නම් ලෞකික බැදීම් වලට භික්ෂු ජීවිතය ඉඩක් නොදෙයි. නිිර්වාණගාමී ප්‍රතිපදාවේ දක්ෂවන භික්ෂු ජීවිතය තුළ සරල අල්පේච්ඡ ගති පැවතුම් ප්‍රගුණ විය යුතු බව කරණීය මෙත්ත සූත්‍රයේ මනාව බුදුරදුන් දේශනා කරයි. සුවච බව,මුදු බව මෙන්ම ඍජු බවත් භික්ෂු ජීවිතය තුළ ප්‍රගුණ කළ යුතු යන්නේය. අනතිමානී ගුණයෙන් යුතු භික්ෂු ජීවිතය බෝසත් ජීවිතයකැයි අපගේ පිළිගැනීමයි. භික්ෂුව පහසුවෙන් පෝෂණය කළ හැකි ජීවිතයක් ගෙවන්නකු විය යුතු බව බුදුසමයේ ඉගැන්වීමයි. චීවර,පිණ්ඩපාත,සේනාසන,ගිලානප්‍රත්‍යය යන සිවුපසයෙහි අවමය පරිහරණය කළ යුතුය. ලැබෙන චීවරයෙන්, ලැබෙන සිවුපසයෙන් සතුටට පත්විය යුතු වන්නේය. භික්ෂුව සිවුපසය පරිහරණය කරන්නේ ප්‍රත්‍යවේක්ෂා කරමිනි. භාවනාවෙහි ඇලීගැලී වෙසෙන භික්ෂු ජීවිතයට අධික සිවුපසයෙහි වැරදි පරිහරණය නිර්වාණාපේක්ෂාවට බාධාවකි. තත්කාලීන සමාජ පිළිගැනීම අනුව පැවිද්දා පසිදුරන් පිනවන ලෞකික වස්තූන් කෙරෙන් ඈත්විය යුතුය යන සමාජ ප්‍රතිරෝධය නිසාම නොව බුදුසමය උගන්වන ඉන්ද්‍රිය සංවරයටත් නිවන් අපේක්ෂිත භික්ෂුවට කරදරකාරී ජීවන පැවැත්මකුත් උදාකරන බැවින් සිවුපසයෙහි අවමය බුදුරදුන් විසින් නිර්දේශ කළ බව අපගේ පිළිගැනීමයි. නොඑසේ නම් හුදු ජනතා ප්‍රසාදය පිණිසම එසේ කළ බව පිළිගත නොහැකිය. නමුත් මහජනතාවගේ සාධාරණ විවේචනයන් සහ ඉල්ලීම් වලට සානුකම්පිතව ඇහුම්කන්දීමට තරම් ඉවසීමක් භික්ෂුවට තිබිය යුතු බව බුද්ධකාලීන භික්ෂූන් වහන්සේලාගේ නිදසුන් වලින්ම පෙනෙයි. බුදුරදුන් පසළොස් වසින් අඩු දරුවන් පැවිදි නොකළ යුතුය යනුවෙන් විනය නීතියක් පනවා තිබූ අවධියක අභිවාතක නම් රෝගයෙන් දෙමාපියන් අහිමි වූ දරුදෙදෙනකුට පැවිද්ද ලබාදෙන ලෙස අනද තෙරුන් විසින් කළ ඉල්ලීමට අනුව බුදුරදුන් "කවුඩෙකු පලවාලිය හැකි" වයසෙහි පසුවන්නේ නම් පැවිද්ද අනුදනිමි යනුවෙන් විනය නීතිය සංශෝධනය කරයි. එසේ නම් භික්ෂු ජීවිතය සමාජ ඉල්ලීමට සක්‍රීය ලෙස මැදිහත්වන්නක් බව අපට තේරුමිගත හැකිය. භික්ෂුවගේ කාර්යය වන්නේ සිවුපසයෙහි ගිජුවීම නොව අවම පරිහරණයත් සමාජ සුභසාධනය කෙරෙහි ශාසනික ලාභයන් යෙදවීමත් වන බව අපගේ අදහසයි. සමාජය විසින් අධික සිවුපස පරිහරණය භික්ෂු ජීවිතයට නොගැලපේය යනුවෙන් ඇතිකරන ප්‍රතිරෝධයත් බුද්ධ භාෂිතය විසින් එම සාධාරණ සමාජ ඉල්ලීම පිළිගැනීමත් භික්ෂු ජීවිතය සුභරතාවය මත ගොඩනැංවීමට අවශ්‍ය පියවර ගැනීමත් අපගේ අවධානයට ලක්විය යුත්තේය. සේනාසනක්ඛන්ධකයෙහි එන විස්තරයේ රජගහනුවර සිටුතුමන් භික්ෂූන්ගේ සංවරශීලී හැසිරීම පිළිබද ප්‍රසාදයට පත්විය. එහි එන පරිදි 'දුටුවන් පහදවන්නාවූ ඉදිරිබැලීමෙන්ද දෙපස බැලීමෙන්ද අත්පා නැමීමෙන්ද අත්පා දිගහැරීමෙන්ද උපලක්ෂිතව බිමට හෙලූ ඇස් ඇතිව මනා ඉරයව්වෙන් යුතු භික්ෂු ජීවිතය' නොපැහැදුණු වූවන්ගේ පැහැදීම පිණිසත් පැහැදුණවූවන්ගේ වැඩි පැහැදීම පිණිසත්ම වූ බව හදුනාගත හැකිය. එසේ දුටුවන්ගේ ප්‍රිය උපදවන්නේ සරල අනතිමානී දිවිපෙවෙත තුළ ඉදුරන් ප්‍රසන්නවීම බව සිතීම වඩා නිවැරදිය. අංගුත්තර නිකායගත දසධම්ම සූත්‍රයෙහිද සදහන් පරිදි භික්ෂුවගේ ජීවිතය පරපටිබද්ධය. සිවුපසය තමන් විසින් උපදවාගන්නක් නොව සැදැහැති මනුෂ්‍යයන්ගේ පුණ්‍යසම්භාරයක් බව අපි දනිමු. ශීලාදී ගුණයෙන් පූර්ණ භික්ෂු ජීවිතය ගෘහස්ථ ජනයාගේ ආකල්පවලින් වෙනස් වූ අන්‍යතර එකකි. අනිත්‍යවූ ලෝක විෂය විදර්ශනාවෙන් දක්නා සුවිශේෂ ඥානදර්ශනයන් ඉපදවීමට දිවා රෑ අවදිමත් බවක් භික්ෂු ජීවිතයෙහි දක්නට ලැබෙයි. ජනයාගේ ප්‍රසාදයටත් ගරුබුහුමනටත් වන්දනයටත් නිතර පාත්‍රවන්නේ එහෙයිනි. නමුත් භික්ෂුව පරපුටු බවට පත් යාචකයකු යැයි කිසිසේත් අර්ථගැන්වෙන්නේ නැත. භික්ෂුව පැවිද්දට පත්වන්නේ කෑම බීම, වස්ත්‍ර හෝ නවාතැන් පහසුකම් අපේක්ෂාවෙන් නොවනා බැවිනි. දිවිරැකගැනීමට ප්‍රත්‍ය පහසුකම් ඇතිකර ගෙන ගෘහස්ථ ජීවිතය ගතකිරීමට ඇති නොහැකියාව නිසාද නොවෙයි. ප්‍රත්‍ය පහසුකම් සියල්ලම නැතිව වුණත් සිය අරමුණු සාධනයෙහිලා භික්ෂුව නිතොර කැපවන්නෙකි. භික්ෂුව සිංහයකු මෙනැයි නාගසේන හිමියන් මිළිදු රජුට පෙන්වා දෙන්නේ එහෙයිනි. **
( **_භික්ෂු ජීවිතය හා භික්ෂුවගේ කාර්යභාරය_01 යන මැයෙන් වන මෙය සටහනක ප්‍රවේශය පමණි. තව සාකච්ඡාවට ලක්විය යුතු දීර්ඝ කාරණා රැසකි. මේ සටහනත් සංවාදයට විවෘතය. ) 
___#අරෝ ෂ සමරසේකර___